gov lk large

සංවර්ධනය සඳහා වනසෞදි අරමුදල (SFD), අරාබි ආර්ථික සංවර්ධනය සඳහා කුවේට් අරමුදල (KFAED) හා ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල(OFID) යන සංවිධානවල මූල්‍ය සහය ඇතිව කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබයි. යෝජිත කළුගඟ ජලාශයේ ජල ධාරිතාවය ඝන මීටර් මිලියන 265 වන අතර ඉන්  ඝන මීටර් මිලියන 100ක් වාර්ෂිකව මොරගහ කන්ද ජලාශයට හැරවීමට හැකිවේ. මෙම ව්‍යාපෘතිය යටතේ කළුගඟ ද්‍රෝණියේ හෙක්ටයාර 3000නව වාරි ප්‍රදේශයක්සංවර්ධනය  කිරීමට අපේක්ෂා කෙරේ.  

මෙම ව්‍යාපෘතිය සඳහා වූ අපේෂිත වියදම බලාපොරොත්තු නොවූ භූවිද්‍යාත්මක තත්වයන් ඇතුලු විවිධ හේතූන් මත සිදු කරන ලද සැලසුම් සංශෝධනයන් නිසා ඉහල ගොස් ඇති බැවින්  ඉහත පාර්ශවකරුවන් විසින් සපයන ලද අරමුදල් මෙම ව්‍යාපෘතිය අවසන් කිරීම සදහා ප්‍රමාණවත් නොවන බව හදුනාගෙන ඇත.

සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල (SFD) විසින් අරමුදල් හිඟයෙන් කොටසක් මූල්‍යයනය කිරීම සඳහා සෞදි රියාල් මිලියන 60ක (ඇ.ඩො. මිලියන16, රුපි. මිලියන 2,560)අතිරේක ණය මුදලක් ලබා දීමට එකඟ වී ඇත. අරමුදල් හිඟයෙන් ඉතිරි කොටස මූල්‍යයනය කිරීම සඳහා ශ්‍රී ලංකා රජය දැනටමත් අරාබි ආර්ථික සංවර්ධනය සඳහා කුවේට් අරමුදල(KFAED) සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඔපෙක් අරමුදල(OFID) සමග ගිවිසුම් වලට එළඹ ඇත.

සෞදි රියාල් මිලියන 60ක් වූ අතිරේක ණය මුදලට අදාළ ගිවිසුම 2018 ජූලි මස 18 වන දින මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී අත්සන් කරන ලදි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය වෙනුවෙන් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්.සමරතුංග මහතා අත්සන් කළ අතර සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල (SFD) වෙනුවෙන් එහි නියෝජ්‍ය සභාපති හා කළමණාකාර අධ්‍යක්ෂ අතිගරු යූසුෆ් ඉබ්රහීම් අල් අබිදුල්රහමාන් අල් බසාම් මහතා අත්සන් කරන ලදි.

 

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය,

කොළඹ 01.

2018 ජූලි මස 18

FaLang translation system by Faboba