gov lk large

ශ්‍රී ලංකාවේ පරිගණක ආධාරක ඉගැන්වීම් සදහා e - ඉගෙනුම් සම්පත් නිර්මාණය කිරීමට ජාතික මධ්‍යස්ථානයක් පිහිටු වීම සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 30 ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 5,460) සහනදායී ණය මුදලක්  ලබා දීමට කොරියානු ජනරජය එකඟ වී ඇත. ශ්‍රී ලංකාවේ ද්විතීයික අධ්‍යාපනය සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඉගැන්වීම් සහ ඉගෙනුම් පරිසරය වැඩිදියුණු කිරීම, ගුරුවරුන්ගේ තොරතුරු තාක්ෂණ අධ්‍යාපන හැකියාව වැඩිදියුණු කිරීම සහ ග්‍රාමීය ප්‍රදේශ වල ජීවත් වන සිසුන් ඇතුළුව සියළුම සිසුන්ට අධ්‍යාපනය සඳහා සමාන අවස්ථා ලබාදීම මෙම ව්‍යාපෘතියේ අරමුණු වේ.

මෙම ව්‍යාපෘතිය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කෙරෙනු ඇත. e - ඉගෙනුම් සේවාවන් වැඩිදියුණු කිරීම, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පුහුණුව සැපයීම වැනි ක්‍රම භාවිතා කරමින් අධ්‍යාපනික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික පුහුණු පහසුකම් පුළුල් කිරිමට ද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් සැලසුම්කර ඇත. මෙම සැලැස්මට අනුව, වයඹ පළාතේ අංගසම්පූර්ණ ජාතික e - ඉගෙනුම් සම්පත් සංවර්ධන මධ්‍යස්ථානයක් (NCDC) සහ දකුණු සහ නැගෙනහිර පළාත්වල, පළාත් අධ්‍යාපන තොරතුරු සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්ථාන (PICTEC) දෙකක් පිහිටු වීමට යෝජනා කර ඇත. මෙම e - ඉගෙනුම් සම්පත් සංවර්ධන මධ්‍යස්ථානය ජාතික සහ පළාත් අධ්‍යාපන තොරතුරු සන්නිවේදන තාක්ෂණ මධ්‍යස්ථාන සමඟ e - ඉගෙනුම් සම්පත් සංවර්ධනය කිරීමෙහි නියැලෙනු ඇති අතර එම සම්පත් ඊ - තක්සලාව සහ දැනට පවතින අනෙකුත් පුහුණු වැඩසටහන් ඔස්සේ ගුරුවරුන් හා සිසුන් අතර බෙදා හැරෙනු ඇත.

ඉහත අරමුණු සාක්ෂාත් කරගනුවස් ක්‍රියාත්මක කිරීමට නියමිත  ශ්‍රී ලංකාවේ ද්විතීයික අධ්‍යාපන සඳහා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ කේන්ද්‍රය පිහිටුවීමේ ව්‍යාපෘතිය මූල්‍යනය කිරීම සඳහා  ඇමරිකානු ඩොලර් 30,099,000 නොඉක්මවන කොරියානු වොන් ණය මුදලක්  ලබා දීමට කොරියානු ආනයන අපනයන බැංකුවේ ආර්ථික සංවර්ධන සහයෝගීතා අරමුදල (EDCF) විසින් එකඟතාවය පලකර ඇත.

වසර 10 ක සහන කාලයක් ඇතුළුව වසර 40 ක ආපසු ගෙවීමේ කාලයක් සහිතව වසරකට 0.15% ක පොලී අනුපාතිකයක් සහිතව මෙම ණය මුදල ලබා දේ. තවද එක් එක් උපයෝජන වටිනාකාමෙන් 0.1% ක සේවා ගාස්තුවක් ගෙවිය යුතුය.

 ඉහත ව්‍යාපෘතියට අදාළ ණය ගිවිසුම මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා විසින් අද මුදල් අමාත්‍යාංශයේදී අත්සන් තැබීය. මෙම ව්‍යාපෘතිය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ඇත.

 

2019 නොවැම්බර් මස 5 වන දින විදේශ සම්පත් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලදී.

FaLang translation system by Faboba